සිනමාහල් සංස්ථාවට ගෙන මුදල් බහිරවයාට බිලිදීම
මෝඩයාගේ දවසේ – මෝඩයාගේ ගිවිසුමජාතික චිත්‍රපට සංස්ථාව දලූගම පිහිටි කොන්ට්‍රාස් සිනමා ශාලාව වසර 10ක් සදහා සංස්ථාවේ පාලනයට පවරා ගැනීමේදී විශාල මූල්‍ය අක්‍රමිකතාවයක් සිදුවී ඇතැයි විගණන වාර්තා පෙන්වාදෙයි. 2003 වසරේදී සිදුවූ මෙම ගනුදෙනුව පිළිබඳව විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති වාර්තාවකින් පෙනී යන්නේ මෙම ගනුදෙනුව පිටුපස විශාල වංචා හා දූෂණ තිබිය හැකි බවයි. 2003 අප්‍රේල් 01 වැනිදා එනම් මෝඩයන්ගේ දිනයේදී චිත්‍රපට සංස්ථාව ඔලමොට්ටල ගිවිසුමක් අත්සන් කොට ඇත. ඒ අනුව ජාතික චිත්‍රපට සංස්ථාවත් කොන්ට්‍රාස් සිනමා ශාලාවේ පාලනාධිකාරියත් අංක 11 දරණ බදු ගිවිසුම අනුව වසර 10ක් සදහා සිනමාහල සංස්ථාවේ පාලනයට පවරා ඇත. ඒ රුපියල් 86,49,792 ක සම්පූර්ණ බදු මුදලකට වන අතර සංස්ථාව එය වාරික 120කින් පාලනාධිකාරියට ගෙවිය යුතුය.
මිලියන ගණනක අලූත්වැඩියාව
බදු ගැනීමෙන් පසු තමන්ට සිනමාහල අයිතිවන්නේ වසර 10කට පමණක් වුවත් වසර සිය ගණනකට අවශ්‍ය අලූත්වැඩියා සහ දේපල මිලදී ගැනීම් වෙනුවෙන් සංස්ථාව අත දිගහැර වියදම් කොට ඇත. මුලින්ම ශාලාවේ අලූත්වැඩියා කටයුතු සදහා රුපියල් 36,05,000.00 ක මූලික ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළමුත් එය මිල අධික බව පවසා 2003 ජුනි 26 වැනිදා අංක 1011.4.1 දරණ තීරණය මගින් අධ්‍යක්ෂක මණ්ඩලය එය ප්‍රතික්ෂේපකර ඇත. ඉන් පසුව වියදම රුපියල් 20,05,000.00ක් ලෙස සංශෝධනය කොට 2004 පෙබරවාරි 18 වැනිදා අධ්‍යක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කොට ඇත. නමුත් අංක 1019.5.1.4 දරණ තීරණය යටතේ එයද අධ්‍යක්ෂක මණ්ඩලය ප්‍රතික්ෂේපකර තිබේ. නමුත් අධ්‍යක්ෂක මණ්ඩලයේ කිසිදු අනුමැතියකින් තොරව සංස්ථාවේ බලධාරීන් රුපියල් 13,41,257.00ක වියදමින් අලූත් වැඩියා කටයුතු සිදුකර ඇත. පහත දැක්වෙන්නේ එසේ කරනු ලැබූ වියදම් විගණන වාර්තාවේ සටහන්වී තිබූ ආකාරයයි.

මීට අමතරව සිනමාහලේ බැල්කනිය සදහා ඉන්දියාවෙන් පුටු 550 ක් ගෙන්වීමට රුපියල් මිලියන 2.9 කට අධික මුදලක් වැය කිරීමට පියවර ගෙන තිබිණි. නමුත් නියමිත දිනට භාණ්ඩ නොලැබීම නිසා ණයවර ලිපිය අවලංගු වීමෙන් එම මිලදී ගැනීමට සිදුකළ නොහැකි විය. නමුත් ණයවර ලිපිය වෙනුවෙන් සංස්ථාව ගෙවා තිබූ රුපියල් 14,678.13 ක මුදල සංස්ථාවට අහිමිවිය.
ටෙන්ඩර් නැති ගනුදෙනු
මෙසේ සිදුකරන ලද අලූත්වැඩියාවන් බොහොමයක් සදහා ටෙන්ඩර් මණ්ඩල අනුමැතිය ලබාගෙන නොමැත. අලූත්වැඩියාවන් සදහා පමණක් නොව සිනමාහල බදුගැනීමේ ගනුදෙනුවද ටෙන්ඩර් මණ්ඩල අනුමැතිය ලබාගෙන නොමැත. එය රුපියල් මිලියන 8 ඉක්මවා යන බැවින් එවැනි ගනුදෙනුවකට අනුමැතිය අත්‍යවශ්‍යවේ. එමෙන්ම මෙවැනි විශාල පරිමාණයේ ගනුදෙනුවකදී රේඛීය අමාත්‍යංශ ලේකම්තුමාගේ උපදෙස් ලබාගත යුතුය. නමුත් සංස්ථාවේ බලධාරීන් ඒ කිසිවක් සිදුකර නොතිබිණි.
අලූත්වැඩියාවන් සදහා සහ මිලදී ගැනීම් සදහා ටෙන්ඩර් මණ්ඩල අනුමැතිය ලැබී තිබුණේ,
01. වැසිකිලි අලූත්වැඩියාව සහ අලූතින් තැනීම
02. සිවිලිම අලූත්වැඩියාව
03. බැල්කනි පුටු මිලදී ගැනීම
යන ගනුදෙනු සදහා පමණි. පහත ගනුදෙනු එකක්වත් සදහා ටෙන්ඩර් මණ්ඩල අනුමැතිය ලබාගෙන නොතිබිණි. එසේ අනුමැතියෙන් තෙරව කළ කාර්යයන් අතර වර්ණාලේප කිරීම, දොර රෙදි දැමීම, විදුලි පංකා මිලදී ගැනීම, මත්පැන් හල ඉදිකිරීම, ආපන ශාලාව ඉදිකිරීම ආදී ගනුදෙනු ගණනාවක් වේ. ප්‍රක්ෂේපණ යන්ත්‍ර අලූත්වැඩියාවට සහ ශබ්ද උත්පාදක යන්ත්‍ර මිලදී ගැනීම ආදියටද ටෙන්ඩර් මණ්ඩල අනුමැතිය ලැබී නොතිබිණි. සංස්ථාවේ නිලධාරීන් මේ ගැන ඉදිරිපත් කරන නිදහසට කරුණ වන්නේ මෙම වියදම් සදහා රුපියල් 7,68,506.00ක මුදලක් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්) විසින් අනුමත කර ඇති බවය. නමුත් ඔහුට අනුමැතිය දිය හැක්කේ රුපියල් 25000.00ක උපරිමයක් දක්වා පමණි. පැහැදිලිවම ඔහු සිය බලතල ඉක්මවා කටයුතු කර ඇත.
ටෙන්ඩර් කැදවා ඇති ආකාරයද සැක සහිතය. එක් එක් කාර්යයන් සදහා පිරිවැය ඇස්තමේන්තු සකස්කර නොතිබිණි. මිල ගණන් කැදවීමේදී ප්‍රමාණවත් සැපයුම්කරුවන් සංඛ්‍යාවකගෙන් මිල ගණන් කැදවා නොතිබිණි. ලැබුණු ටෙන්ඩර් ප්‍රමාණවත් ඇගයීමකට ලක්කර නොතිබිණි. එබැවින් මෙය පිටුපස දැවැන්ත ටෙන්ඩර් මගඩියක් ඇති බව පැහැදිලිය.
අරමුණ කුමක්ද?
මෙම ගනුදෙනුවේ ඇති විශාලම ප්‍රශ්නය වන්නේ දලූගම කොන්ට්‍රාස් සිනමා ශාලාව බදු ගැනීමට හේතුව කුමක්ද යන්නයි. ඒ සදහා කිසිදු පිළිගත හැකි හේතුවක් නැති බව විගණන වාර්තාව පවසයි. අනෙක් අතින් බදු ගිවිසුමේ සදහන් වන්නේ බදු කාල සීමාව තුළ සිනමා හල යහපත් ලෙස නඩත්තු කළයුතු බව පමණි. නමුත් ස්ථිර වත්කම් එකතු කිරීම සදහා සංස්ථාවේ මුදල් වැය කළේ මන්දැයි පැහැදිලි නැත. අනෙක් අතට කල් පවත්නා ඉදිකිරීම්, අලූත්වැඩියා සහ නව උපකරණ සවි කිරීම් වෙනුවෙන් සංස්ථාව වැයකරන මුදල් ආපසු අයකර ගැනීමට කිසිදු කොන්දේසියක් බදු ගිවිසුමේ නොමැත. එබැවින් මෙම වියදම් සියල්ල සංස්ථාවේ මුදලින් සිනමාහල අයිතිකරුට ලබා දුන් ත්‍යාගයක් පමණක් බව පෙනේ. මෙම සමස්ථ කාර්යය සදහා කිසිදු නිල අනුමැතියක් ලබා ගෙන නොමැති අතර එය සභාපතිවරයාගේ හිතුවක්කාර තීරණයකි.
පාඩු ලබන සිනමාහල් ගැනීම
මීට අමතරව 2003 අගොස්තු 01 දා සිට දිවුලපිටියේ සත්සරී සිනමාහල වසර 10ක කාලයකට රුපියල් 25000.00 ක මාසික කුලියකට බදු ගෙන ඇත. බදුගන්නා අවස්ථාවේදීත් එම සිනමා ශාලාව පාඩු ලබමින් පැවතී ඇත. පාඩු ලබන සිනමාහලක් බදු ගැනීමට සංස්ථාව තීරණය කළේ කුමක් නිසාද? විගණන වාර්තාවේ සදහන්වන අන්දමට 2003 අගොස්තු සිට 2004 මැයි දක්වා එම සභාපතිවරයාගේ පාලන කාලය තුළ මෙම සිනමාහල නිසා සංස්ථාවට රුපියල් 3,12,789.45 ක පාඩුවක් සිදුවී තිබිණි. එම පාඩුව අවමකර ගැනීමට හෝ සිනමාහල නගා සිටුවීමට කිසිදු පියවරක් ගෙන නොතිබිණි. මෙම තීරණය නිසා සිදුවූයේ සංස්ථාව මූල්‍යමය වශයෙන් තව තවත් ආගාධයට ඇද වැටීම පමණි. මෙම ගනුදෙනුව පසුපස වංචාවක් ඇතැයි සැක සිතීමට ප්‍රධාන හේතුවක් වන්නේ එම සිනමාහලට මැදිහත්වීම සදහා සංස්ථාවේ නිලධාරියකු අර්ධකාලීනව යොදවා එහි පෙර සිටි කාර්යය මණ්ඩලයම සේවයේ යොදවා ගැනීමට සභාපතිවරයා කටයුතුකර තිබීමයි.
තවත් සිනමා ශාලා බදු ගනී
එම සභාපතිවරයාගේම උපදෙස් පරිදි බණ්ඩාරණායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි මිනි සිනමාහල මසකට රුපියල් 90,000.00 බැගින් කුලී ගෙවීමේ පදනම මත කුලියට ගෙන තිබිණි. ආසන 250 ක එම කුඩා සිනමාහල විශාල මුදලකට කුලියට ගෙන තිබුණේ 2003 ජුනි 01 දා සිටය. නමුත් 2003 මැයි සිට දෙසැම්බර් දක්වා එහි චිත්‍රපට ප්‍රදර්ශණය කර දෙසැම්බර් මාසයෙන් පසුව චිත්‍රපට ප්‍රදර්ශණය අත්හිටුවා තිබිණි. මෙම සිනමාහල බදු ගැනීමට හේතුව කුමක්දැයි පැහැදිලි නැත. එම තීරණය ටෙන්ඩර් මණ්ඩලයේ අනුමැතියට ලක්කර නැත. මෙම කාලය තුළ සිනමා ශාලා කුලිය වශයෙන් රුපියල් 5,70,000.00ක්ද ප්‍රචාරක වියදම් සදහා රුපියල් 5,63,912.50ක්ද ලිපි ද්‍රව්‍ය සදහා රුපියල් 1127.20ක්ද වියදම්කර ඇත. ආදායම් ලැබී ඇත්තේ රුපියල් 24,360.54ක් පමණි. ඒ අනුව මෙම ගනුදෙනුව නිසා චිත්‍රපට සංස්ථාවට සිදුව ඇති පාඩුව රුපියල් 8,91,979.00කි. පහත දැක්වෙන්නේ එක් එක් මාසය තුළ එම පාඩුව සිදුවූ ආකාරය විගණන වාර්තාවේ සදහන්ව තිබූ අයුරුයි.

එවකට පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පත් කළ චිත්‍රපට සංස්ථා සභාපතිවරයා විසින් සිදුකරන ලද මෙවැනි ගණුදෙනු ගණනාවක් බරපතල සැකයකට තුඩුදී ඇත. මේවා නිසා අති විශාල මුදලක් සංස්ථාවට අහිමිවී ඇති අතර මෙය පිටුපස තව කොපමණ වංචා තිබේදැයි තවමත් හෙළිදරව්වී නැත. නමුත් විගණන වාර්තාව පෙන්වා දෙන්නේ මෙම දූෂිත ගනුදෙනු නිසා ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාව අති විශාල බිද වැටීමකට ලක්ව ඇති බවයි. මෙසේ මහජන මුදල් කාබා සිනියා කිරීමට හවුල්වූ කිසිවෙකුට දඩුවම් ලබා දීමට ක්‍රියාකර තිබේද. එය ප්‍රශ්ණයක් ලෙස තිබේ.
රාජ්‍යන්ගේ බලපෑම් සමඟින් චිත්‍රපටි වාරණ කරමින්ද, ගාස්තු වැඩි කිරිමින්ද, සිනමා ශාලාද වසා දමමින්ද, හිත මිතුරන්ට සිත්සේ ණය දෙමින්ද වුවද කලාත්මක හා වැදගත් සිනමා කෘති වර්තමානයේදී දුර්භල වු ලංකේය සිනමා කර්මාන්තයේ එක් සිනමා ශාලාවක්ට සිදු වු දුෂණ පසුපස තවත් දුෂණ ඇතැයි අපට රතු එළියක් පෙන්වනවා නෙවේද?

2 වු ප්‍රතිචාර:
"වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව" කිව්වලු . .. !
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ..! වෙන මොන කතා ද?
Post a Comment
සිංහලෙන් යතුරු කිරිම සඳහා යුනිකේත එසැණින් පරිවර්තකය හෝ සිංග්‍රීසි පරිවර්තකය යොදා ගත හැකිය.